Saturday 2 December 2017

නිර්මාල් රන්ජිත්ගේ ඓතිහාසික යටිහඬ

ඉතිහාසය හැදෑරීම යනු ඉතිහාස කරුවා හැදෑරීම යැයි කියවේ. මහාවංශය හැදෑරීමේදී අපට දික්සඳ පිරිවෙන් වැසි මහානාම හිමි හිමි ඇතුලු කතුවර පරපුර හැදෑරීම ඉතා ප්‍රයෝජනවත්ය. ඉතිහාස කරුවාට උඩු හඬක් මෙන්ම යටි හඩක්ද ඇත. අප යටි පෙළ යනුවෙන් එය නම් කරමු.
කලින් ලිපියේද  සදහන් කළ  ඉතිහාසඥ ඊ. එච්. කා මෙම යටි හඬ ගැන මෙසේ කියයි.
"ඔබ ඉතිහාස කෘතියක් කියවන විට හැම විටම කර්තෘගේ යටි හඬට කන් දෙන්න.
ඔබට කිසිත් නොඇසේ නම් එක්කෝ ඔබ හරිම බීරෙකි.
නැත්නම් ඔබගේ ඉතිහාසඥයා නීරස මොට්ටයෙකි."
නිර්මාල් රන්ජිත් ඉතිහාසඥයෙකි. ඉතිහාසවේදියෙකි. මෙි දිනවල ඔහු කරන ප්‍රකාශ වල උඩුහඩක් ඇත්තේම නැත. ඇත්තේ යටි හඩක් පමණි. 
හුදී ජනයා යටි හඬට ව්‍යංගාර්ථ වලට කන් දීමට තෝරා ගන්නේ කලා කරුවන් මිස ඉතිහාසඥයන් නොවේ. ඉතිහාසකරුවාට යටි හඬක්  අනිවාරයෙන්ම තිබුනද එය උඩුහඬක් ඇසුරින් බිහිවන්නකි.
එසේ නැතිව ඉතිහාසකරුවෙක් බිහි නොවේ.
කුමක් හෝ හේතුවක් නිසා නිර්මාල් සිය ශික්ෂණයෙන් උරුම වු උඩුහඬ අමතක කරමින් යටි හඬින් පමණක් කතා කරන්නට පටන් ගෙන ඇත.
මට නම් පෙනෙන්නේ මෙසේ කිරීමෙන් ඔහුගේ හඬට සවන් දීමට බීරෙකුවත් ඉතිරි නොවන බවය.
හිතවත් නිර්මාල් උඩුහඩටද තැනක් දෙන්න